පොල් හිටවද්දි වැදගත් වන කරුණු කිහිපයක් දැනගනිමු

පොල් කියන්නේ කප් රුක වගේ දෙයක්. පොල් ගහක් ගත්තම අපිට වැදගත් නැති කොටසක් නැතිම තරම්. ඒ තරම් වැදගත් පොල් වගාකිරීම කියන්නෙත් සරු බිස්නස් එකක්. ලොකු ඉඩමක් නැතත් පොඩි වපසරියක ඉඩමක වුනත් පොල් ගස් කිහිපයක් හදලා සාත්තු කරගත්තොත් ගෙදර පොල් තෙල් අවශ්‍යතාවයට ඒ ගස් ටික පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් අපි පොල් හිටවීම ගැන ටිකක් බලමු.

1. පොල් වලට හරියන භූමිය

පොල් වලට හරියන්නේ වෙරළබඩ කලාපේ. ලංකාව වටේම වෙරළබඩ කලාපය වගේම කඳුකර නොවන බිම් වල හොඳට පොල් වැවෙනවා. ලංකාවේ නම් වතුර තියෙන වගුරු බිම් ආදියේ පොල් වගාව එච්චර ජනප්‍රිය නැහැ. ඒත් ඉන්දියාවේ කේරළයේ සහ තායිලන්තයේදී වගුරු බිම් වලත් පොල් වගාව ජයටම කෙරෙනවා. පොල් වගාවට කළපු වතුර වගේම ඕනි නම් මූදු වතුරත් දාන්න පුළුවන්. අපේ රටේ පොල් වලට වතුර දැමීම එතරම්ම තකන බවක් පේන්න නැහැ. ඒත් නිසි කලට වතුර සපයන්න පුළුවන් නම් පොල් අස්වනු වැඩිකරගන්න පුළුවන් ලේසියෙන්ම.

2. පරතරය සහ වලවල්

තද බෑවුම් තියෙන ඉඩම් වලට පොල් ගැලපෙන්නේ නැහැ. සමතලා බිම අඩි අටක පරතරයකින් පොල් හිටවන්නට පුළුවන්. ඒකෙදි අවශ්‍ය නම් ත්‍රිකෝණාකාරයටත්, නැතිනම් සමචතුරස්‍රාකාරවලටත් හිටවන්නට හැකියි. අක්කරයකට පොල් ගෙඩි 64ක් තමයි වගාවට නිර්දේශ කරන්නේ. පොල් වලවල් බොරළු පොළවක නම් අඩි 4*4 ප්‍රමාණයට කපන්න ඕනි. සාමාන්‍ය එතරම් තද නැති බිමක නම් අඩි 3*3 ප්‍රමාණයේ වලක් පොල් හිටවන්න සෑහෙනවා.

3. පැළයක් තෝරාගැනීම

දැන් නම් පැකට් එකක හිටවපු පොල් පැළ අපිට තෝරාගන්නට තියෙනවා. පොල් ප්‍රභේද ගණනාවක් තියෙනවා. එයින් සාමාන්‍ය ගෙවතු පරිසරයට සුදුසු කුඩා පොල්ගසුත් තියෙනවා. පොල් පර්යේෂණායතනය මගින් වඩාත් හොඳින් වැඩිදියුණු කරන ලද පොල් පැළ තියෙනවා. ඒ පැළ ගත්තොත් පසුකාලීනව හොඳ අස්වැන්නක් පොල් මගින් ගන්න පුළුවන්. පොල් පැළයක් තෝරාගන්නකොට පැළවුන තැන සිට වඩාත් සාරවත්ව කෙටි කොළ සහිත කොළපාට පැළයක් තෝරාගන්නට ඕනි. යහපත් නිරෝගී පැළ තෝරාගැනීම වගාව සාර්ථක වෙන්න සෘජුවම බලපානවා.

4. පැළය සිටුවීම

අපි කලින් කිව්ව විදිහට 3*3 ප්‍රමාණයේ වල යටටම පොල් ලෙලි තට්ටුවක් දමන්නට ඕනි. පොල් ලෙලි තට්ටුවට පස්සේ ආයේ පස් තට්ටුවක් දමලා ඊට උඩින් මතුපිට පස් සහ පොහොර පස් දාලා තමයි හිටවන්නට ඕනි. හිටවද්දි රසායනික පොහොර යොදන්නට ඕනි. යූරියා ග්‍රෑම් දෙසීය පනහක්, එප්පාවල රොක් පොස්පේට් ග්‍රෑම් 750ක් සහ මියුරියේට් ඔෆ් පොටෑෂ් ග්‍රෑම් 250 බැගින් යොදන්නට ඕනි. ඊට අමතරව ඩොලමයිට් කිලෝ එකකුත් වල පුරවනවිට යොදාගන්නට ඕනි. පැළය සිටුවීමට පෙර කෘමිනාශක වල ගිල්වලා ගන්න ඕනි. මොකද නැතිනම් පොල් ගෙඩිය වේයෝ කන්නට ඉඩ තියෙනවා.

5. පැ​ළය රැකබලා ගැනීම සහ පෝර යෙදීම

මේ පොල් වගාවේ මුල් අවස්ථාවේදී පළමු අවුරුදු 4 තුළ පොහොර දාන්න ඕනි ආකාරය ගැන පොල් මණ්ඩලයේ වෙබ් අඩවියේ තියෙනවා. ඒ  නැතිනම් ආසන්නතම ගොවිජන කාර්යාලයෙන් මේ තොරතුරු ගන්න පුළුවන්. මේ කාලයේදී මාස මාස හයෙන් හයට ගසට පෝර දාන්නට ඕනි. ගස් හිටවලා ඇවිත් බැද්දට කැලේට වැහෙන්නට ඇරියොත් ගස් හොඳට හැදෙන්නේ නැහැ. ඒ නිසා ගස් වටේ සුද්ද කරලා යම්තාක් දුරකට හොඳ පසුබිමක් ගස්වලට ලබාදෙන්නට ඕනි. පොල් ගස් වලට හැමදාම වතුර දාන්න ඕනි නැහැ. ඒත් තද නියං කාලයක් ආවොත් වතුර දාන්නට ඕනි. නැත්නම් ගස් බාලවීමක් සිදු වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *